Friday, September 29, 2017

නොනිමි දිවිල්ල...




ආසාවෙන් දිදුලන ඇස්
අඳුරු පෙත දෙස යොමන්...
එකිනෙකා පස්සේ
හති වැටි වැටී..

දුවන්නේ කොහෙටද
හරි හැටි නොදැක...
සොයන්නේ මොනවාද
හරි හැටි නොදැන...

හුස්මක් ගන්නවත්
බිඳකට  නොනැවතී...
රිදුම් දෙන දෙපා ගැන
මැසිවිලි දොඩවමින්...

ඇත්තටම මට දුවන්න ඕනැද...
කිසි විටක නොවිමසමින්...
නැවතිලා සිතන්නට
මොහොතකුත් ලොබ වෙමින්...

ඉදිරියෙන් යන අයගෙ
පාදයෙන් අදිමින්...
පසු පසින් එන අයට
තම බලය පෙන්වමින්...

අසිහියෙන් මුලාවෙන්
දුවන තුරු මේ කතර...
හමු වෙයිද මිනිසුනේ..
සහනයක් යම් දිනෙක....

මම...



මම කියා කෙනෙක්ද...
මට කියා දෙයක්ද...
මගෙම වූ රුවක්ද...
මවෙත නොවෙන බව..
මටම පසක් වූ දිනක...
මම මගෙන් මිදෙනු ඇත...
සදහටම....

සොයමි ඔබම ඔහු තුළ...



උතුරන සෙනෙහස..
ලෙහි රැඳි උණුහුම...
තනි නොකර එක්ව හිඳි
ගෙවුනු හැම මොහොතක්ම...

සිත නිවන මුදු වදන
නිති පෑව රැකවරණ...
ගවු ගනන් ඈත සිට
ළඟ රැඳුන සෙවණැල්ල...

එක හුස්ම බෙදාගෙන
ගැහෙන දෙහදෙහි රාව...
මා මමම ඔබ ඔබම
අපි අපම පමණක්ම...

සඳ ගිලී දිනිඳු නැග
පෙලන සඳ ඇස් කෙවෙනි...
උනා මතකයෙ තිමිර
සොයමි ඔබම ඔහු තුළ....

Thursday, February 18, 2016


ඔබ නැහැ


ඔබට සමුදුන් දා පටන්
අහස අඬනවා
ගිනියම් කොලඹ තෙත් කරන්...
සතුටටද දුකටද
මගේ දුක නිවන්නද..
මා සනසවන්නද..

සිහින් සීතල වැහි පොදේ
තෙමි තෙමී එනවිට
මතක් වෙන්නෙ මට
අපි කවදාවත් වැස්සෙ තෙමුනෙ නැහැ එකට..

සමහර දවසට
අපි ආසාවෙන් බලන් උන්නා
වැහි වලාකුලු දිහා
වැස්ස වහින තුරු..

අපි වෙනුවෙන් කවදාවත් තෙත් නොවුනු අහස
අද තෙත් වෙලා
ඒත්..
මාත් එක්ක වැස්සෙ තෙමෙන්න
ඔබ නැහැ...

Wednesday, February 17, 2016



වැළලු ආදරය


තනිකම වෙලාගත්
හුදෙකලා මොහොතක
මතක සෙවණැලි අතර
සැරිසරන ආදරය....

ගෙවීගිය අතීතය
සිතින් පිරිමැද
සුවය විනිවිඳින
අහිමි ආදරය...

විඩාපත් බිත්ති මැද
සිරවුනු වාතලය..
ගිනිගත් සුසුමින්
දවාලන ආදරය....

බොඳ වුනු දෙනෙතින්
හාත්පස පුරාවට..
ප්රිය රූපයම සොයන
අන්ධ ආදරය...

රැක ගන්න සවි නැතිව
වෙවුලන දෑතින්
මා දෙපා අද්දරම
වැළලු ආදරය...

සමාවෙන්න මට


කඳුහෙල් පසුකරන්
කටු අකුල් පීරමින්
අවෙ මම
හරි පාර හොයාගෙන..
රළු බොරලු පාරක්
දිස් වුනා මා ඉදිරිපිට
අසා ඇති මං සලකුණු
මට පැවසුවේ
මෙයයි මාවත...
ඔසවන විට පා වෙත
අහම්බෙන් ඔබ ආවා
"එන්න මාත් එක්ක
ඔයාට තනියක් නැහැ"
සුමටළු පාරක ඔබ මා ගෙන ගියා
සව්සිරින් සපිරුනු සුවබර පුරවරයට...
සිතන්නත් නැහැ ඉඩක්
සැපෙන් ඇලලුනු සිතේ..
දෝරෙ යන සව්දියෙන් - සවන පිනවන වෙණෙන්
පසිඳුරන් මත්වෙලා...
මෙයමද තැන
කෝ එහි සැනසීම
මා මනස ඇතුලෙන්ම
කව්දෝ අහනවා...
ඇයි මේ මත්වීම
අයි මේ මුළාව
සිත උඩුහුලඟෙ පා කරන සැනසීමයි මට අවැසි...
සමාවෙන්න මට
කම් සැපති පුරවරෙන්  ගැලවෙන්න බැරි ඔබව
දමා යන්නෙමි මං
සැනසීම ඇති දෙසට...
බොරළු පාරෙ යා යුතුම වෙයි මම
පසක් කරලන්න අවැසි නිසා
සදාකල් සුවය එහි තිබෙන බව....